හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට සිතුවිලි කිති කැවුනා
එකපාරට ආදර මල් සුවඳක් දැනුණා
මදහාස නගා ඈ හොරැහින් වගෙ බැලුවා...
මොකක්දෝ කියාගන්න නොතේරෙන හැගීම් ගොන්නකින් මාව වැහිලා ගියා.. කොලම පාට ගස් කොලන් අතරින් වාහනේ ඉස්සරහට ඇදෙනවා... ඒ වේගෙට මං ආසම හුලං පාර මගෙ මූනෙ වදිනවා.. ඉස්සරහ තියන කන්නාඩිය දිහා බලන්නෑමයි කියල හිතුවත් එයා දාපු සිංදුව එක්ක මගෙ ඇස් ඉබේටම ආයෙම කන්නාඩිය දිහා බැලුවා.. හැබැයි ඒ ඇස් හීනි උනා..
එයා අහක බලන් හිනා උනා..!
කවුරුත් කතා කරෙත් නැත්තම්.. කවුරුත්ම විහිලුවක් කරෙත් නැත්තම්.. මගෙ මූන දිහා කන්නාඩියෙන් බලලා හිනාවෙන්න එයාට වැඩක්ද? ඒත් ඉතින් මට ඔය ටික එයාට කියන්නනේ බැරි..
" ඔය ලමයගෙ නම මොකක්ද? දූගෙ නර්සරි එකේ photographer කියලා විතරනෙ අපි දන්නේ.. නම දන්නෙ නැහැනේ "
එයාගෙ වයිෆ් මගෙන් ඇහුවෙ පිටිපස්සෙ හිටපු මට බෙල්ල ටිකක් හරවලා..
" අභිරූ මිස්.. මගෙ නම අභිරූ සදීශ දෙවනාරායන.. "
" ශා.. ලස්සන නමක්නේ.. වයස කීයද? පේන විදිහටනම් ලොකු වයසක් නෑ නේද.. "
ආයෙම මිස් ඇහුවම ඒ ඇස් කන්නාඩියෙන් ආයෙම මාව අල්ල ගත්තා.. උත්තර නොදී බැරිකම නිසාම මාත් උත්තර දුන්නා..
" වයස විසි හයක් වෙනවා මිස් "
" ඕහ්හ්හ් තාම පොඩි ලමයෙක්නෙ. අපි දෙන්නට වඩා අවුරුදු පහක්ම බාලයි. "
ඒ කියන්නෙ ඒ දෙන්නා එක වයසෙ. දෙන්නටම තිස් දෙකයි.. මොන දේ උනත් බහිරව වගේ නෙමෙයි එයාගෙ වයිෆ්නම් හරි හොදයි. කල්පනාවෙ ආපු මම දැක්කෙ ඉස්සරහින් තියන බඩඉරිඟු කඩ පේලිය.. ලග ලග නැතත් තැනින් තැන තිබ්බෙ පොඩි පොඩි බඩඉරිගු කඩ.. ම්ම්හුක් තැබිලිත් තියනවා.. මේවා තමා අප්පා මං කන්න ආස කෑම.. ඒත් ඉතින් කටන් ඇරල කියන්නද.. යොහාන් උන්නනම් ඌට වද දීලා කියන්නවත් තිබුනා...
බ්‍රාස්ස්ස්ස්ස්...
එයා වාහනේ නැවැත්තුවා.. නවත්තපු පාර මාව ඉස්සරහට විසි වෙලා ගියා.. මිස් හිටපු සීට් එකේ පිටිපස්සෙ මූනත් ඇනගත්ත මං රවල වගේ කන්නාඩියෙන් එයා දිහා බැලුවා.. ඒත් එයා නෙවේ ගනන් ගත්තෙ.. ඒත් එයා නවත්තල තිබ්බෙත් මෙච්චර වෙලා මං කෙල හල හල හිතපු තැනකින්ම වෙනකොට මට ලාවට පොඩි සතුටකුත් දැනුනා..
" ඔයාට මතකයි නේද නුරේන්ද්‍ර... මං මේවා කන්න ආසයි කියලා.. "
එයාගෙ අතේ බාහුව අතගාමින් මිස් හිනා වෙලා කිව්වා.. ඒත් අර මට දැනුනයි කිව්ව සතුටනම් අනේ මන්දා.. ඒකට මොනාහරි උනා..
" එන්න අභිරූ.. අපි බඩඉරිඟු කාලා මොනාහරි බොමු.. "
වාහනෙන් බහින ගමන්ම මිස් මට කතා කෙරුවා.. එහෙම්මම පර්ස් එකත් ගත්ත මං වාහනෙන් බැස්සෙ ඉස්සරහම සීට් එකේ නිදන් ඉන්න ජාන්වී බබා දිහා බලාගෙන.. එයා එයාගෙ අප්පච්චි වගේමයි..ඒත් හිනාවනම් අප්පච්චිගෙ වගේ නෙමෙයි.. අනේ මන්දා.. කොහොම උනත් කෙල්ල එයාගෙ කපාපු පලුව.. මොන හේතුවකටද මන්දා මට මේ කෙල්ලගෙ හුරතලේට පුදුම තරම් ආදරේ හිතෙනවා..
" මිස් සල්ලි මං දෙන්නම් "
හිනාවෙලා මිස්ට එහෙම කියාගෙනම මං හැදුවෙ පර්ස් එකෙන් සල්ලි ගන්න. ඒ එක්කම මිස් මගෙ අත ඇල්ලුවා.. ඒක හරියට එපා කියන්න වගේ.. මිස්ට පිටිපස්සෙන් හිටපු එයාගෙ ඇස් හිටු කියලා මට රවනවා.. ආ ඒ මොකද ඒ..
" සල්ලි එපා දරුවො.. පිස්සුද මන්දා මේ කොල්ලට.. ඔහොම ඉන්න නුරේන්ද්‍ර බඩඉරිඟු අරන් එයි "
එහෙම කියාගෙනම මිස් ගිහින් එල්ලුනෙ එයාගෙ අතේ.. කටත් ඇද කරන් මං ආයෙම පර්ස් එක වාහනෙන් දැම්මා.. බඩඉරිඟු තියෙන්නෙ විකුනන්නනම්... එයාලටත් එක්ක බඩඉරිඟු ගන්න සල්ලි දෙන්න හැදුවෙත් මමනම් මට එහෙම රවන්න එයාට වැඩක්ද... ඕක ඉතින් මට එයාට කියාගන්නනෙ බැරි. නපුරු බහිරවයා..
මොනා උනත් එයා හොද හස්බන්ඩ් කෙනෙක්.. තමංගෙ වයිෆ්ගෙ ආසාවල් එහෙම මතක තියෙනවා කියන්නෙ.. ඇත්තටම මිස්නම් හුගක් වාසනාවන්තයි.. කවදහරි අකිල අයියත් මෙහෙම උනොත් හොදයි... උනොත් නෙමෙයි එයා අනිවාර්යයෙන්ම එහෙම වෙයි.
මගෙ ෆෝන් එකේ ඉස්සරහ ඉන්න අකිල අයිය දිහා බලන් මං හිතුවා.. ඒකත් ලාවට මූනෙ ඇදුන හිනාවත් එක්කම..
" කෙල්ල නිදිනෙ නුරේන්ද්‍ර.. කාලත් නෑ එයා "
" ම්න්."
" ඇහැරවන්නද දූව "
" එපා "
" අම්මේ හරි හරි.. අප්පච්චිලා දූලා ඕන එකක් කරගන්න.."
අකිල අයියගෙ වෝල්පේපර් එක දිහා බලන් උන්න මට ඇහුනෙ අර දෙන්නගෙ කතාව. භාශ්වරසිංහනම් වචනයයි දෙකයි කතා කරන්නෙ.. කොහොමද දන්නෙ නෑ එහෙම කතා නොකර ඉන්නෙ නේද. මටයි යොහාන්ටයිනම් එහෙම ඉන්නම බෑ.. ඒක නිකන් හුස්ම හිර කරනවා වගේ හැගීමක්නෙ..
" ආ "
මාව ගැස්සිලා ගියා.. බඩඉරිඟු කරලක් මගෙ පැත්තට දික් කරන් හිටියෙ භාශ්වරසිංහ.. එහෙම්මම ඒ ඇස් ගියෙ මගෙ ෆෝන් එකේ වෝල්පේපර් එකට වෙද්දි ටග්ගාලා ෆෝන් එක සාක්කුවට දාගත්ත මං එයාගෙ අතින් බඩඉරිඟු කරල ගත්තා.. හැබැයි,
" ස්ස්ස්ස් ආව්ව්.. ෆූහ්හ් ෆූහ්හ් "
ඒක උණුයි.. මේ මනුස්සය ඒක කොහොම ඇල්ලුවද මන්දා.. ඒත් ඒක හරිම උනුයි.. මං ඒක මගෙ අත් දෙකට මාරු කර කර පුලුවන් තරම් ඒකට පිම්ඹා..
" තාම පොඩි ලමයෙක් වගේ "
එහෙම කියාගෙනම එයා මගෙ අතින් ආයෙම බඩඉරිඟු කරල ගත්තෙ බඩඉරිඟු කොලේ උඩට ගානට ඒක තියද්දි..
" මෙහෙම කන්න "
කොලේ උඩ තියලා එයා මට ආයෙම බඩඉරිඟු කරල දුන්නා.. ආ.. දැන්නම් උණු ගතිය ලොකුවට දැනෙන් නෑ.. සාක්කුවට අතකුත් දාගෙන එයා මගෙ දිහා බලන්ම උන්නා.. එයා මෙහෙම ඉද්දි මං කොහොමද කන්නෙ.. මට ලැජ්ජත් එක්කනෙ.. එහෙම හිතපු මං එයාට පිටුපාලා හැරුනා.. ඊටපස්සෙ කන්න පටන් ගත්තා.. අම්මෝ අනේ රහ.. අවංකවම ඒක මාරම රස උනා.. එයා ඉන්නවා මිස් ඉන්නවා කියලා නෑ.. අර ලැජ්ජාවත් කොහෙහරි යන්න ගියා වෙද්දි මං බඩඉරිඟු කරල එක්ක ඔට්ටු උනා.. කොහොම කෑවත් මං දැන් විනාඩි ගානක් තිස්සෙ කාලා තිබ්බෙ භාගයක් විතරයි.. ඒත් අහම්බෙන් වගේ මං එයා දිහා බැලුවා එක්කම එයා ෆෝන් එකෙන් මගෙ ෆොටෝ එකක් ගත්තා.. මං හිටියෙත් කටේ බඩඉරිඟු පුරුවන්. මගෙ කම්මුල් පිම්බිලා තියෙන්න ඇති.. එයා කරපු ඒ දේටනම් තරහ ගිය මං එයා ලගට ගියෙ දෙකක් කියන්න හිතාගෙන...
ම්ම්හුක්.. ඒත් අනේ එයා ඒ ගන්නෙ සෙල්ෆිනෙ.. ෆෝන් එක දික් කරන් එයා ගන්නෙ එයාගෙම ෆොටෝස්... මටත් පිස්සුනෙ.. එයාට මගෙ ෆොටෝ ගන්න පිස්සුවක් තියනවද නෑනෙ..
" මොකද? "
ඇහිබැමක් රැලි කරමින් එයා මගෙන් ඇහුවෙ එයාගෙ ෆෝන් එකට එබීගෙන වගේ හිටපු මං ආයෙම එයාගෙන් අඩි දෙක තුනක් ඈතටයද්දි.
" මේ.මු.මුකුත් නෑ සර් "
මං කීවත් ඒ කීව දේ ගානකට නොගෙන එයා එහෙම්මම වෙලාව බැලුවා.. මට ඉතුරු ටික කාගන්න බෑ දැන් බඩ පිරිලා.. ඒත් ඉතින් මේක විසි කරන්නද? බෑනෙ.. එයාගෙ සල්ලිනෙ..
" සර් කන්නෙ නෑ? "
මගෙ දිහා බලන් ඉන්න එයාගෙන් මං ඇහුවම එයා නෑයි කියන්න ඔලුව වැනුවා.. කටින් උත්තර දුන්නොත් කට ගෙවෙයිද මං අහන්නෙ..
" සර්ත් කන්න. මෙව්වා රහයි "
" ම්න්. "
මං කීවත් ෆෝන් එකට කොට කොට හිටපු භාශ්වරසිංහට නෙමෙයි කන ඇහුනෙ.. බස්සෙක් වගේ හුම්ම් කියන්න විතරද කොහෙද එයා දන්නෙ.. ඒ අස්සෙන් මේක මට කාගන්න බෑනෙ අප්පා.. මං දැන් එහෙටත් ඇබරුනා.. මෙහෙටත් ඇබරුනා... ශේපට විසි කලොත් මාව අහු වෙයිද? මං බලාගෙන ඒ ඇස් හීනි වෙනවා..ඒක නිකන් මං කරන්න හදපු දේ එයාට තේරුණා වගේ.. මං හැරෙද්දිත් මේ මනුස්සයට තේරෙන එකනේ වැඩේ..
" කෝ දෙනවා "
ඒත්.. මාව ලප් තැනම ලොප් කරමින් එයා මගෙ ගාවින් ගියෙ මගෙ අතේ තිබ්බ බඩඉරිඟු කරලත් අරන්.. නිකන් නෙමේ මං ඉතුරු කරපු හරියෙන් කන ගමන්.. කිසිම හිරකිතයක් නැතුව එයා මං කාපු පැත්ත අතින් අල්ලන් අනික් පැත්තෙන් කෑවෙ මං ගල් ගැහිලා වගේ බලන් ඉද්දි..
" ආ "
ඒ එක්කම මගේ අතට තැඹිලි ගෙඩියක් තියපු එයා මිස්ගෙ අතට දුන්නෙ පැනි දොඩම් වීදුරුවක්. තවත් තැඹිලි ගෙඩියක්ම ගත්ත එයා බොන්න පටන් ගත්තෙ අර කාපු බඩඉරිඟු කරල කුනු එකට දාමින්..සමහරවිට මිස් පැණි දොඩම් බොන්න ආස ඇති.. ඒකනෙ එයා මිස්ට විතරක් එව්වා අරන් දුන්නේ.. ඊයා..බොරු ඕනෙ නෑනෙ මටනම් එව්වා පේන්න බෑ..
" දූ එක්ක මෙතන ඉන්න අමාරුයිනෙ නුරේන්ද්‍ර මට දුවව පිටිපස්සෙන් තියල දෙනවද.. මං පිටිපස්සට යන්නම්.. "
" ම්න් "
කාලා බීලා ඉවර වෙලා වාහනේ ලගට ගිහින් මිස් එයාට කීවෙ එයා එහෙම්මම ජාන්විව අත් දෙකට උස්සන් පිටිපස්සෙන් තියද්දි..
" මල්ලි අභිරූ.. ඔයාට පුලුවන්ද ඉස්සරහින් යන්න.. දූ එක්ක ඉන්න අමාරුයි එතන තව දුර යන්නත් තියෙනවනේ.. "
" අයියෝ පුලුවන් මිස්. එහෙනම් මං ඉස්සරහින් නගින්නම් "
මිස්ට කිව්ව මම ඒ එක්කම ඉස්සරහින් වාහනේට නැග්ගා.. ඒ එක්කම මට කෝල් කරේ යොහාන්. මිසුයි භාශ්වරසිංහ සරුයි තාම නැග්ගෙ නැති නිසාම මං ස්පීකර් දාලාම ඌ එක්ක කතා කෙරුවා..
" යන ගමන්ද උඹලා? "
" හ්ම්ම් ඔව්. දැන් මේ බඩ ඉරිගු කාලා තැඹිලි බිව්වා.. ආයෙම හදන්නෙ දැන් "
" එල එල පරිස්සමට පලයන්. මේ ඒක නෙමේ "
" අහ්හ් ඇයි මොකක්ද? "
" තමුසෙගෙ ෆොටෝ එකක් එවනවකො සුදූ "
" අනේ මේ මගෙන් අහගන් නැතුව ඕක තියනවා.."
" අපෝ අපෝ.. පාලුයි අයිසෙ. එකයි එකයි. එකක් එවනවා.. "
" ඔයානම් මහ වදයක් යොහාන්. හරි හරි එවන්නම් මං තියනවා.. "
කටත් ඇඹුල් කරන් මං කෝල් එක කට් කෙරුවෙ ෆෝන් එකේ කැමරාව ඔන් කරලා මං එක එක විදිහට ඉද්දි.. ඒත්,
දඩස්ස්ස්....
මගෙ අතින් ෆෝන් එක මගෙ ඔඩොක්කුවටත් වැටුණා.. එයා වාහනේට නැගල දොර වැහුවෙ දොර ගැලවෙන්න තරම් වේගෙකින්..ඒ එක්කම මිසුත් වාහනේට නැග්ගා.. මන්දා භාශ්වරසිංහ ඉන්නෙ තරහෙන් වගේ.. ඔව්ව ඉතින් පවුල් ප්‍රශ්න.. මට ඔව්වා වැඩක් නෑ.. එහෙම්මම වාහනේ ස්ටාර්ට් කරපු එයා එකපාරට ස්ටියරින් වීල් එකට ගැහුවා..
" ඇයි නුරේන්ද්‍ර.. ඇයි මේ තරහ ගිහින්? "
දැන් දැන් එයා ලග ඉන්න එකත් මට අපහසු උනා.. මං කොච්චර බය උනාද කියනවනම් ඔලුවත් නවන් අතේ ඇගිලි එකින් එකට පූට්ටු කර කර මං බිම බලාගෙනම හිටියා..
" සීට් බෙල්ට් එක දාගන්නවා!! "
ඒත් එයා සද්දෙට කියද්දි මං බැලුවෙ එයා දිහා.. ඒ ඇස් වල කේන්තිය උතුරනවා.. එයාගෙ සද්දෙට ගැස්සුන මං හැදුවෙ සීට් බෙල්ට් එක දාගන්න.. මගෙ බය කොයි තරම්ද කියනවනම් මගෙ අතට සීට් බෙල්ට් එකවත් අහු නොවුන තැන එයා එහෙම මගෙ පැත්තට පහත් උනා.. ඒ රැවුල පිරුණ මූන ගෑවි නොගෑවි මගෙ පපුව හරියෙ වදිද්දි සත්තයි මං හුස්ම අල්ලන් බලන් හිටියා.. එයා සුවදයි.. ඒක හරි ගැඹුරු සුවදක්..ඒත්,
" ශිට්. වැඩ නැතුවට වැඩ "
ඒ එයාගෙ වචන.කේන්තියෙන්ම එහෙම කියමින් එයා මට දැම්මෙ සීට් බෙල්ට් එක..එයාගෙ ඒ වචන එක්ක මගෙ පපුව පිච්චිලා ගියා.. කොටින්ම ඒ වචන මාව රිදෙව්වා..දැකලත් දවස් දෙකයි තමා.. ඒත් ඒ වචන වලට ඉබේටම මට ඇස් වලට කදුලු පිරුනා එක්කම මං ජනේලේ පැත්ත බලාගත්තා...
ඇත්ත.. එයාලා සතුටින් යන්න ආව ගමනනේ මේ.. එක පුංචි පවුලක් මැද්දට පිටස්තරයෙක් උන මං ආවම වැඩ නැතුවට වැඩ නේන්නම්.. ඇඩෙන එක මට නවත්තගන්නම බෑ.. සිංහරාජෙට ගිය හැටිය මං එහෙම්මම කැලෑවට යනවා.. තවත් මේ මිනිස්සුන්ට වදයක් වෙන්නෑ.. යොහාන්ට හෙටම එන්න කියනවා.. එහෙම හිතන් මං ෆෝන් එක අතට අරන් යොහාන්ගෙ චැට් එකට ගියා.. මගෙ කදුලු සට සට ගාලා ෆෝන් එකට වැටෙන්න ඇති.. ෆෝන් එක පීද පීද මං ඌට මාව එක්ක පලයන් තවත්නම් ඉන්න බෑ බං කියලා හිතේ දුකට ටයිප් කරපු මැසේජ් එක සෙන්ඩ් කරන්න යනවා එක්කම මගෙ අතක් හිතුවෙවත් නැති විදිහට එයාගෙ අතට මිරිකිලා ගියා..
එතකොටයි මං මගෙ මූන ඉස්සුවෙ. එතකොටයි මං කදුලු පිටින්ම එයා දිහා බැලුවෙ.. මගෙ ඇස් දැකපු ඒ ඇස් දෙක ගැස්සිලා යනවා මං බලන් උන්නා.. ඒත් ඒ ශනිකව මගෙ ෆෝන් එක එයා අරන් එයාගෙ අනික් පැත්තෙ සාක්කුවට දැම්මෙ වචනයක්වත් නොකියම එයා වාහනේ එලවද්දි..
.......................
" අප්පත්ති ඒන්දල් දොයිත "
" ම්න්.. ඒන්ජල්ට අඩලම නින්ද ගිහින්නෙ "
" ඒන්ජල් ඇදුවත?"
" ම්න් "
" ඉතිම් අයි ඒ? අයි ඒන්ජල් ඇදුවෙ? "
" අප්පච්චි ඒන්ජල්ට සැර කරානෙ වස්තුව.."
" කලුනාකලලා මාව බත්තවන්න "
" ඔය. වැටෙයි දෝනි.. ඉන්න අප්පච්චි බස්සවන්නම්.. ඇයි ම්ම් ඇයි මේ අප්පච්චි එක්ක මගෙ වස්තුව තරහ අරන්? "
" උයා ඔද නෑ.. බෑද් අප්පත්ති.. උයා තොලි කීන්න ඒන්ජල්ට. දාන්වී ඇදුවම තොලි කීනවා වගේ ඒන්ජල්ට තොලි කීන්න.. මං නනවා අම්මි ගාවත.. අප්පත්ති නෝටි.. මං තලායී "
" මේ කෙල්ලනම්.. ඇරපු අතක්නෑ ඒම ගතිගුණ "
.
.
.
" අඩලම රතු වෙලා "
මං උන්නෙ නිදාගෙන.. ලාවට වගේ ඇහුණ කෙල්ලගෙ වගේම එයාගෙ කටහඩට නින්දෙන්ම සවන් දුන්නත් ඒ ටිකෙන්ම මගෙ කම්මුල් වලට දැනුන ඇගිලි තුඩු වල පහස නිසා මං ඇස් ඇරියෙ බය වෙලා.. එහෙම්මම එයා ශනිකව ඒ අත ගත්තෙ අර නපුරු මූනෙන් මගෙ දිහා බලන් ඉද්දි..
" බහින්න. ඇවිත් ටිකක් වෙලා "
මං ඈනුමක් යවාගෙනම නගිට්ටා.. මගෙ ෆෝන් එකත් මගේ අත ගාව තිබුනෙ මං එහෙම්මම එයා දිහා බලද්දි. බහින්න කියන්න වගේ ඒ ඇස් මට ඉගි කරා.. ඒ එක්කම මාත් වාහනෙන් බැහැගත්තා.. ඒක බැන්ගලෝර් එකක්.. ඒකත් මොඩ්න් විදිහට හදපු එකක්.. එලියෙ පූල් එකක් එක්ක වටේම ලයිට් වැල්. පුදුම තරම් ලස්සනයි.. කන්දක් උඩ නිසාම සීතලත් වැඩී...
" යමු "
එහෙම කියාගෙනම එයා හැරුණෙ ඇතුලට යන්න. ඒත් හවස උන දේ නිසා මට හිතුනෙ මං එයාලට වද දුන්නා ඇතී කියලා..
" නෑ සර් මං යන්නම්. ටෙන්ට් එකක් ගහන් කැලෑවෙම ඉන්න පුලුවන් මට. කලිනුත් ඇවිත් තියෙනවනේ "
මං කීවත් ටිකක් ඉස්සරහට ඇවිදන් ගිය එයා ආයෙම හැරුණා.. බර හුස්මක් අරං එයා මගෙ දිහා බැලුවා බැල්මක්.. කිව්වට විස්වාස කරන්න ඒ බැල්මට හීයක වේගෙන් මං වලව්ව ඇතුලට ගියෙ එයාවත් පහු කරන්.. මං බයනම් නෑ.. ඒත් ඉතින් පිට තැනකට ඇවිත් ප්‍රශ්න ඕනෙ නෑනෙ නේද.. ඒ ඇරෙන්න බයකටනම් නෙමේ...
.......................
එයාගෙ වයිෆ් මට රූම් එකක් දුන්නා.. මහන්සි නිසාම මිස් මට කෑමත් කාමරේටම එවලා තිබ්බෙ වොශ් එකක් දාන් කෑම කාලා සේරම ඉවර කරපු මං කාමරේ ජනේලෙ ගාවට යද්දි.. ටිකක් සීතල නිසා මගෙ ජැකට් එකත් ඇන්ද මං ෆෝන් එකත් අතේ තියන් බලන් හිටියෙ අකිල අයියගෙන් කෝල් එකක් එනකම්.. රෑ එකොලහටත් කිට්ටු ඇති. මගෙ රූම් එකෙන් එලියට ආව මං පූල් එකට ටිකක් එහාට වෙන්න තියන බෙන්ච් එකේ ඉදගත්තා.. එයා දැන් ගනී දැන් ගනී කියලා මං සෑහෙන වෙලාවක් බලන් උන්නා..
හද හරි ලස්සනට පායලා.. නිස්කලංකයි.. ටිකක් ඈතින් ඇහෙන්නෙ දොල පාරක්.. මිස්ලනම් නිදි ඇති.. මේ වෙලාවට කෝපි එකක් තිබ්බනම්.. ඒත් ඉතින් මිස් දන්නෙ නෑනෙ මට මහ පාන්දරට කෝපි ඕනෙ කියලා.. මංආයම මගෙ ෆෝන් එක දිහා බැලුවා.. එයා තාමත් ගත්තෙ නෑ.. එක්කො අරන්ම බලනවා..
රින්ග්නම් වෙනවා.. තාම නෑනෙ..
" hello "
" හෙ.හෙලෝ "
" who speaking? "
කව්ද ඒ ගෑනු කෙනා? මං ආයෙම නම්බර් එක බැලුවා.. නෑ මට වැරැදිලා නෑ.. මේ එයාගෙ නම්බර් එකම තමයි.
" හෙලෝ "
" අහ්හ් සුදූ කියන්න.. අනේ සොරි මැනික අද තාම වැඩ. දන්නෙ නැද්ද වැඩ කරන තැනනේ.. ෆෝන් එක සද්දෙට රිංග් වෙද්දි මේකි ආන්සර් කරා "
" අහ් ක.කවුද අයියෙ ඒ? "
" වැඩ කරන තැන උන් තමා පැටියෝ.. ඔයාට මාව සැකද සුදූ ආ? "
" අයියෝ නෑ දෙයියනේ.. මටත් වඩා මට ඔයාව විස්වාසයයි අයියෙ.. දවසම බලන් ඉදලා මේ ගත්තෙ මං ඔයාට. මං සිංහරාජෙ ආවා.. "
" ආ එහෙ ගියාද? කාත් එක්කද තනියමද? "
" නෑ නෑ.. දන්න මිස් කෙනෙක් එක්ක.. ඒ මිස් එයාගෙ හස්බන්ඩ් එක්ක මෙහෙ ආවා මාත් එයාලා එක්කම ආවා.. "
" හ්ම්ම් ohh common akila. Come here "
මං අහගෙන මගෙ අකිල අයියට ආයෙම වැඩ කරන තැන ඒ ගෑනු කෙනා කතා කරනවා.. හිත ටිකක් රිදුනනම් තමා.. ඒත් ඉතින් මොනව කරන්නද...
" මං එහෙනම් තියන්නම් නේද අයියෙ.. වැඩ කරන අය ඔයාට කතා කරනවානේ "
" අනේ ඔව් සුදූ උන් වැඩ කරද්දි මට විතරක් ෆෝන් යූස් කරන්න බෑනෙ. මං හෙට ගන්නම් ම්ම්ම්.. එහෙනම් මං තියන්නම්. පරිස්සමට ඉන්න. "
" හරි අයියෙ බුදු සර... යෝහ්හ් තියලත් ඉවරයි"
එයා කෝල් එක කට් කෙරුවා.. දුකක්ශ සතුටක්ද තේරෙන් නෑ.. ඒත් මහ මොකක්දෝ හිතට බරක් දැනෙද්දි මං එයාගෙ ෆොටෝ එක දිහා බලාගෙන හිටියා...
" කව්ද? බෝයිෆ්‍රෙන්ඩ්ද? "
ඒ එක්කම මගෙ පිටිපස්සෙන් ආව සද්දෙ එක්ක මාව ගැස්සිලා ගියා.. ඒ ඇවිත් හිටියෙ භාශ්වරසිංහ.. එක අතකින් කෝපි උගුරක් බොන ගමන් අනික් අතින් මගෙ දිහාවට කෝපි කෝප්පයක් දික් කරන්.. ෆෝන් එක පැත්තකින් තියපු මම එහෙම්මම ඒ කෝපි කෝප්පෙ අරන් බෙන්ච් එකේ මුල්ලටම ගියා.. මගෙ එහා පැත්තෙන්ම එයත් ඇවිත් වාඩි උනා..
" ම්ම්ම්? බෝයිෆ්‍රෙන්ඩ්ද? "
එයා අහද්දි මං කලේ ඔව් කියන්න ඔලුව වනපු එක..
" ම්න්.. කොහොමද එයාව හම්බුනේ? නිදහසේ ඉන්න එකේ අපිටත් අහන්න කියමු බලන්න දෙන්නගෙ ලව් ස්ටෝරි එක.. කොහොමද හම්බුනේ.. කොහොමද ආදරේ ඇති උනේ.. කව්ද ආදරෙයී කිව්වේ? අපි හැමෝටම එහෙම ලස්සන කතාවක් තියනවනේ.. ඉතින්.. මොකක්ද ඔයාගෙ කතාව? "
කෝපි උගුරක් බීපු එයා ඇහුවෙ මගෙ මගෙ මූනට එබෙමින්.. ඒත් අර උණු කෝපි කෝප්පෙ මගෙ අතට මිරිකුනේ මටත් නොදැනිම.. මගෙ අතීතෙ... මං කොහොමද ඒක එයාට කියන්නෙ.. ඇරත් කියන්න තරම් අතීතයක් මට තියනවද?
" එයා ඉන්නෙ රට. මං මෙහෙ. ම්ම් හම්බුනේ... මේ..මට.. මේ.. ගෙ.ගෙදරින් හොයලා දුන්නෙ "
" ම්න්. ගෙදරින්ද හොයල දුන්නෙ? එතකොට ආදරේ? මං අහන්නේ.. ඔය හිත එයාට ආදරෙයිද? "
ආදරෙයිද? ඔව්..මාත් මගෙන් අහන්නෙ ඒකමයි.. දවසම එයාගෙන් කෝල් එකක් එනකම් බලන් ඉන්නවා.. රෑට නිදියන්න ගිහින් එයත් කෝල් එකක් ගන්නවා..ඒක.. ඒක ආදරේද? මංදා.. ඒක වෙන්ණැති ආදරේ.. ඒත් එයා අහපු ප්‍රශ්නෙට මං උත්තර දෙන්න ගියෙත් නෑ..
" සර්ටත් එහෙම කතාවක් තියෙනවද? මං කිව්වෙ. සර්ගෙ ආදරේ.... "
" ම්න්.. මොකද නැත්තෙ.. මට හොදට මතකයි.. එදත් අද වගේම දවසක්.. අර විදිහටම රෑ අහසෙ හද පායලා තිබුණා.. අපි හිටියෙ අපේ ඉස්කෝලේ.. ඒකත් ට්‍රිප් එකක් යන්න.. පාංදර දෙකට බස් එක එනව කිව්වත් දන්නවනෙ ඉතින් කොල්ලොනෙ.. ඊට කලින් දා ඉදලම අපි හිටියෙ ඉස්කෝලේ... "
අහසෙ ලස්සනට පායලා තියන හද ධා බලන් එයා එයාගෙ කතාව පටන් ගත්තා.. ඒ ඇස්.. ඒවා දිලිසෙනවා..
" මං හිතන්නෙ එයා අපේ ඉස්කෝලේට අලුතින් ඇවිත් තිබ්බෙ... එයාලත් ට්‍රිප් එක යන්න ඇවිත් හිටියෙ.. මට තාමත් මතකයි.. ලමයි අතරින් හිටපු අහිංසකම ලමයා එයා.. ඒ කාලෙ මං ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙට්නේ... හේතුවක් දන්නෙත් නෑ හිත කිව්වෙම කතා කරපං කියලා එයා එක්ක. ඉතින් මං තනතුරෙන් ප්‍රයෝජන අරන් එයා එක්ක කතා කෙරුවා.. "
එයා හිනා උනා.. ඒ කතාව අහන් උන්න මගෙත් ඇස් හීනි උනා...
" love at first sight ද? ඉතින්.. කොහොමද යාලු උනේ සර්? "
මං ඇහුවෙ සර් දිහා බලන්..
" ඔව් ඉතින්. බොරු කියන්න ඕනෙ නෑනෙ.. ඒ ඇස් දැක්ක පලවෙනි තත්පරේමයි මට එයාට හිත ගියෙ.. ඔය ට්‍රිප් එකේදි තමා අපි කතා කරන්න පටන් ගත්තෙ.. මට කොච්චර පිස්සුද කියනවනම් තනතුර පාවිච්චි කරල මං මගෙ යාලුවො එක්ක එයාගෙ බස් එකටත් පැනගත්තා.. කොහොමින් කොහොමහරි එයාගෙ යාලුවගෙ උදව් ඇතුව මං හෙඩ් ප්‍රිෆෙක්ට් පට්ටම පාවිච්චි කරලා එයාගෙ නම්බර් එකත් අරගත්තා.. "
" සරුත් මාර වැඩ තමා කරන්නෙ "
මං හිනා වෙලා කිව්වා.. එයත් හිනා වෙවීම මං උගුරු දෙකක් විතර බීලා ලගින් තිබ්බ කෝපි කෝප්පෙ එයා අතට ගත්තා.. එයාගෙ එකත් තියනවා.. ඒත් එයා මගේ එක ගත්තා.. මං බලාගෙන මං බිව්ව තැනින්ම එයත් බොනවා.. ඒක එයාට වැරදිලා කරාවත්ද? එයා තාමත් එයාගෙ අතීතය මාත් එක්ක හිනා වෙවී කියන ගමන් මගෙ කෝපි එක බොනවා.. මං හිතන්නෙ එයාට වරදින්න ඇති..
" ඔයාට කියන්න සරූ කාලෙත් එක්ක අපි දෙන්නා කතා බහා කරා.. ඇත්තම කියනවනම් ඉතින් මං එයාගෙන් කැමැත්ත අහ අහා අවුරුදු හතරක් විතර පස්සෙන් ගියා.. දැන්නම් ඒ ලස්සන මතක මතක් වෙද්දිත් හිනා යනවා... "
මට දැන් පිස්සු වගේ.. සරූ කියන්නෙ කව්ද? මේ වයසකයට පිස්සු හැදිලද? එයා මට කතා කලේ සරූ කියලා.. කව්ද දෙයියනේ සරූ?
" ස්.සර්.. මේ.. ස.රූ කිය.න්නේ..?"
පුදුමෙන් වගේ මං එයාගෙන් ඇහුවම එයා කලේ කටකොනකින් හිනා උන එක.. හරි විකාරයක්නෙ ඒක..
" සරූ කියන්නෙ ඔයාට.. ඒ මං ඔයාට දාපු නම.. ඔයාගෙ දෙවනි නමේ පලවෙනි අකුරයි ඔයාගෙ පලවෙනි නමේ අන්තිම අකුරයි එකතු කරා මං.. එතකොට ඔයා සරූ.. "
මගෙ මූනට එබෙමින් එයා කිව්වම මට ඇති උනේ මොකක්දෝ මන්දා කියාගන්න තේරෙන්නෙ නැති ලැජ්ජාවක්.. සරූ... මට කවුරුත්ම එහෙම නම් දාලා නෑ.. අඩුම අකිල අයියවත්... එක්කො කමක් නෑ.. ඒක නිකන්ම නිකන් නමක්නේ...
" ම්ම්ම්.. ඉතින් අවුරුදු හතරකට පස්සෙ එයා සර්ට කැමති උනාද? "
සර්ගෙ කතාව දැනගන්න තිබ්බ ආසාවටම මං ඇහුවා.. මං බලාගෙන ඒ ඇස් ආයෙ ආයෙම දිලිසුනා..
" එයා කැමති උනත් එයාට තව කල් ඕන උනා.. තව ටික කාලයක් ආශ්‍රේ කරමු කියල තමා එයා කිව්වෙ.. මොන එහෙකටද මන්දා මටත් තිබ්බෙ හදිස්සියක්.. මගෙන් එයාව කවුරුහරි අයිති කරගනී කියලා මට බය හිතුනා.. ඉතින් මං කලේ හැමදාම වගේ මට කැමතී නේද අහපු එක.. කතාව කොහෙන් පටන් ගත්තත් මට කැමතිද කියන පොයින්ට් එකට කතාව ගේන්නත් මට මාර ටැලන්ට් එකක් තිබ්බා ඒ කාලේ. "
කම්මුලට අතකුත් තියන් මං ඔලුවත් එයා පැත්තට හරවන් බලන් හිටියෙ එයාගෙ මේ කතාව දිහා.. ලේසියකට කතා නොකරම භාශ්වරසිංහ එයාගෙ ආදරේ ගැන ගිරවෙක් වගේ කතා කරන ලස්සන දිහා... එයා මිස්ට ඒ තරම්ම ආදරේද..?
" ඉතින් තවත් මාස හයක් ගෙවුනා.. අවුරුදු හතරයි මාස හයයි.. දවසක් එයාගෙ වැඩකට එයාට දුර ගනමක් යන්න වෙලා තිබ්බා.. ඉතින් මට එතකොට තිබ්බෙ බයික් එකක්.. මං එයාගෙන් ඇහුවා.. ඔයාට පුලුවන් මාත් එක්ක බයික් එකේ යන්න.. හැබැයි කැමතිනම් කියලා.. එයාගෙ ඇස් දිලිසුනාද කියලා එවලෙ මට පෙනුනෙ නෑ.. මොකද වට්සැප් මැසේජ්නේ.. හැබැයි ඒ ඇස් අනිවාර්යයෙන්ම දිලිසෙන්න ඇති කියලා මට හිතුනා.. කොහොමින් කොහොම හරි එයා මාත් එක්ක තනියම බයික් එකේ යන්නත් ආවා.. එතකොට මං ආයෙම ඇහුවා.. "දැන්වත් ආදරේද? " කියලා.. ලැජ්ජාවෙන් හිනා උනා ඇරුනම එයා නෙමෙයි උත්තරයක් දුන්නෙ.. "
මිසුත් ඒ කාලෙ හුගක් ආඩම්බරයිද කොහෙද.. ඇයි ඉතින්.. අවුරුදු ගානක් පස්සෙන් ආව මනුස්සයට එහෙම කරනව කියන්නෙ ආඩම්බර නිසානෙ.. කල්පනාවෙ හිටපු මගෙ මූනට එයා තව ටිකක් ලං උනාම මං හැදුවෙ ඈත් වෙන්න.. ඒත්.. මගෙ දිහාම බලපු එයා,
" ඒ ගමනෙදි මේ වගේම රෑක මේ වගේම පුටුවක වාඩි වෙලා ඉද්දි සරූ දන්නවද එයා මට මොකක්ද කිව්වෙ කියලා? "
එයා අහන්නෙ මගෙ මූන පුරා ඒ ඇස් යවමින්.. ඒක එයාගෙ කතාවනේ.. මේ සීතලේ ඇයි මාව ගිනිගන්නවා වගේ දැනෙන්නෙ..
" ම්ම්ම්? සරූ දන්නවද? "
එයා ආයෙම ඇහුවා.. ඒ කටහඩට මොකක්දෝ වෙලා තිබුනා.. ඒ ඇස් දිහා බලන්ම මං නෑයි කියන්න ඔලුව වැනුවා.. එයාගෙ ඇදුම දැනටමත් මගෙ අතට මිරිකිලා ගිහින්..ඒ හුස්ම මගෙ මූණෙ වදිනවා.. ඒ සුවද මගෙ නාස්පුඩු ඇතුලට ගිහින් මගෙ ආත්මයම ස්පර්ශ කරනවා... ඒත් මට ඒ වගක් දැනුනෙවත් නෑ.. එහෙම්මම මගෙ නිකට ඇගිලි තුඩු වලින් උස්සපු එයා,
" මෙන්න මේ වගේ එයා මගෙ ඇස් දිහාම බලන් කිව්වෙ වචන දෙකයි.. ඒ තමයි...
මං ආදරෙයි....!"
❤️ හම්මේ මයෙ පපුවත් කීංං ගානවා...
❤️ අන්න එහෙමයිලු භාශ්වරසිංහට එයාගෙ ක්‍රශ් එක ආදරෙයි කිව්වේ...
❤️ ඊලගට කෝකෙක්න්ද ඕනේ? මේකෙන්ම ඕනෙද? ඒශ් ද? අග්‍රද?
❤️ අකිලයියා වැඩ හර්තේ....
❤️ කතාව ශේප් නේත ලමයි. අවුල් තියේනම් අඩුපාඩු තියේනම් මට කියන්න. එතකොට මට ඒවා හදාගෙන යන්න ලේසි..
❤️ ඒනම් ආයෙ එනකම්... ආතරෙයි