කාලය.. අල්ලලා හිර කරගන්න හැදුවත් නවත්තන්න බැරි, ගියාට පස්සේ දුක් වෙලා පලක් නැති.. කාලය, කවුරු වෙනුවෙන්වත් එයාගේ ගමන නැවත්තුවේ නෑ..
අපි එකම තැන නැවතුනාද නැත්තන් කාලය අපිව පහු කරන් ගියාද..
කණ්නාඩියෙන් පේන ප්රතිබිම්භය දිහා බලන් මන් කල්පනාවකට සම වැදුනේ කාලය කොච්චර අපේ ජිවිත වෙනස් කරනවද කියලා හිතන ගමන්..
අපේ නමක් නැති බැඳිමට මම නමක් දීලා දැනට පැය 24ක් ගෙවිලා.. ඒ ටික කාලෙට අපි කතා කලේ මොනවද නොකලේ මොනවද කියලා අපිවත් දන්නේ නෑ.. ඒ කොහෙවත් හැබයි අපි අපි ගැන කතා කලේ නම් නෑ..
හිතට දැනෙන අමුතුම මේ හිස් බව.. ඔව් මගේ කවි හිත මැරිලා.. පිස්සුවෙන් කවි වලට පෙම් බැන්ඳ මගේ හිත අද මැරිලා.. කවි වලට ආදරේ කරන්නේ කවියක රස විඳින්නේ කවි හිත අඳුරගන්නේ, හිතක ආදරේ හරි විරහම හරි දන්න කවිකාරයොලු..
ඉතින් අද මන් ආදරේ උණුසුම විඳින්නත් කලින් විරහව අඳුරගන්නත් කලින් හැඟිම් මැරුන කිවිඳියක් වෙලා..
අදින් පස්සේ වචන අමුණන මගේ කවිහිතටත් මං ඉබි යතූරු දැම්මා.. ආපහු කවි සිතුවිලි වලට ඉඩක් නෑ මගේ ජිවිතේ..
"පොඩී.. මාත් එක්ක ගමනක් යන්න එනවද.. මොනවත්ම අහන් නැතුව මාත් එක්ක එනවද යන්න..."
සාලේට ඇවිත් මන් ඒක ඇහුවේ ගේම් එකක් එක්ක ඔට්ටු වෙන ගමන් හිටිය මගේ පොඩීගෙන්.. ගේම් එකත් නවත්තලා එයා මන් දිහා බලන් හිටියේ මන් එයාට යුද්ධේකට යන්න කතා කලා වගේ...
"චූටි, ඒ පාර මොකක්ද නටන්න යන නාඩගම.. මොකෝ මා එක්කම යන්න හිතුනේ උඹේ බොඩිගාඩ් ඉද්දි.. අනෙහ් උබලා වන්නම් නටන්න මගේ බෙරේ පලුවක් යන්න..."
"අනේ පොඩී එනවානම් එන්න.. නැත්තන් uber එකක් දාලා මන් යනවා.. තාත්තා ඇහුවොත් ඇයි තනියම ගියේ කියලා මන් කියනවා ඔයා එන්න බෑ කිව්වා කියලා.."
"ආපෝ උබත් මහ යස්සනියෙක්.. මන් බෑ කිව්වේ නෑනේ.. ඉන්නවා මන් එන්නම්.. ලොකේෂන් එක දාන්න ෆොන් එකට මහලොකු තැනේ නම කියන්න බැරි නම්.. මං පල්ලෙහාට එද්දි ලෑස්ති වෙල ඉන්නවා තියෙන දෙයක් මූණේ උලාගෙන.."
මන් මේ යන ගමන ගැන කවුරු කොහොම හිතයිද මං දන්නෙ නෑ.. ඔව් සමහරවිට මාව දුර්වලයෙක් වගේ දකී.. ඒත් බැඳිම් සීමා අතර හිරවුන මට ඕන වුනේ එක අඩියක් ඉස්සරහට තියලා ඒ බැඳිම් වලින් මිදෙන්න..
"ඔන්න තමුසේ කිව්ව තැනට ආවා.. මේ හදිස්සියේ මෙතනට ආවේ මොනාටද.. අනෙ මට නම් බෑ ඕවා අස්සේ යන්න.. කොල්ලෙක්වත් නැ චැට් එකක් දාන්න.."
"මන් ඉවර වුනාම කෝල් එකක් දෙන්නම් පොඩී.. ඔයා යාලුවෙක්ගේ දිහා යනවානම් ගිහින් එන්න.. ටිකක් වෙලා යයි.."
"අනේ මන්දා බන් ගෑණු උබලාගෙත් බොරු සෝබන.. මන් යනවා සීනුගේ ගෙවල් පැත්තේ.. කරන සුකුරුත්තමක් කරන් ඉවර වෙලා කෝල් එකක් දෙනවා.. පරිස්සමෙන්.."
පොඩී යනකන් බලන් ඉඳලා මන් ඇතුලට ගියේ මගේ නියමිත වෙලාවට කතා කරනකන් වාඩි වෙලා ඉන්න බලන්.. මට ඕනේ වෙනසක්.. සමහරවිට අද ඉඳන් මාත් අලුත් ඇරඹුමක් ගන්න පිටත පෙනුම මුලින්ම වෙනස් කලා නම් හරි කියලා හිතන ගොඩට වැටෙන්න පුලුවන්...
"මිස්ට කොයි ගානටද කොන්ඩේ කපන්න ඕනේ.. මොන වගේ හෙයා ස්ටයිල් එකක්ද මිස් කරන්න කැමති.. දිග අඩු නොකරම අපිට පුලුවන් කැමති ස්ටයිල් එකක් කට් කරන්න.."
"තව කෙනෙක්ට ඩොනෙට් කරන්න පුලුවන් ගානට කපන්න.. මට වඩා මේ කොන්ඩෙන් ඒ කෙනා සතුටු වෙයි.."
අපි කාලෙකට කලින් හරිම ආසාවෙන් පරිස්සම් කරන දේවල් පස්සෙ කාලෙක අපිව බැඳිම් වලට බැඳලා තියාගන්න බැමි වෙනවා.. මට ඕන වුනේ ඒ නොපෙනෙන බැමි එකින් එක අයින් කරන්න.. නිදහස් වෙන්න..
කොන්ඩේ කෑලි එකින් එක බිමට වැටෙද්දි ඒ එක්කම මගේ හිතේ තිබ්බ බරත් අඩු වෙනවා වගේ දැනුනා... ඒක තනිකරම මගේ හිතේ මායාවක් වෙන්න ඇති.. කණ්නාඩියෙන් පේන අලුත්ම රූපේ මට ගෙනාවේ නැවුම් හැඟිමක්.. ඔව් මටත් පුලුවන් වෙනස් වෙන්න.. අලුතෙන් දෙවල් කරන්න මටත් පුලුවන්..
මැරිලා ඉපදුනා වගේ දැනෙන හැඟිමත් එක්කම අවසාන වතාවට ඉනෙන් පහළට තිබුනු මගේ කොන්ඩේ දැන් පිට මැද්දට වෙන්න තියෙන හැටි බලලා මන් ඇමතුමක් ගත්තේ පොඩීට මාව ගන්න එන්න කියන්න බලන්...
ඒ ගෙවෙන හැම තත්පරයකම මගේ හිත නැවුම් හැඟුම් අස්සෙන්ම කීරී ගෑවේ මේ වෙනස පොඩී, ගෙදර අය වගේම, තව සමහරු කොහොම පිළිගනීද කියලා හිතේ බයක් ඇති කරද්දි.. ඒ තව සමහරු මටත් වඩා මගේ කොන්ඩේ ගැන වද වෙද්දි.. ඒත් ඇයි මං ඒ අය හිතන විදිය ගැන වද වෙන්නේ...
පොඩීගෙන් ආව පණිවිඩේ එක්ක මන් එලියට යද්දි මගේ ඉස්සරහින් නැවත්තුවේ කාගෙත් ඇස් යොමුවෙන තාලේ බයික් දෙකක්.. ඔව් දෙකක්..
මන් පුලුවන් තරම් කවසාකියට ඇස් යොමන් නැතුව පොඩී දිහාම බලන් හිටියේ දැනටත් මාව විනිවිද යන ඒ බැල්ම දරාගන්න බැරුව.. පොඩී එයාගේ හෙල්මට් එක ගලවලා බලාගෙන හිටියේ ඇත්තටම හොල්මනක් දැක්ක ගානට..
"චූටි...!!! මොන යකෙක් වැහිලද මෝඩීයේ අර යසට තිබ්බ කොන්ඩේ කපලා දැම්මේ... අහ්හ්.. ගෙදර අයට මොනවද කියන්නේ බන්.. ඇයි කපන්න ඕන වුනත් මෙච්චර කොට කලේ.."
"මට කොන්ඩේ දිගට කරදරයක් වගේ දැනුනා.. මන් ආස නෑ.. මට ඒක වදයක් පොඩී.."
පොඩීගේ ප්රශ්න පත්තර හමුවේ මන් ඇහෙන නෑහෙන හඬකින් ඒ ටික කියාගත්තේ තාම හෙල්මට් එකවත් ගලවලා නැතුව ඉන්න කෙනා දිහාවට බැල්මක් හෙලමින්..
"බෙල්ලෙන්ම කපලා දාපන්....!!!"
වෙව්ලන ඒ ගෝරනාඩුව වෙන කාගෙන්වත් නෙමෙයි.. ඇත්තටම මට දැනුනේ බෙල්ල වටේට දැඩි අතක් වෙලිලා මගේ හුස්ම හිර කරන හැඟිමක්..
මන් වචනයක් කියන්නත් කලින්ම බයික් එක පණගන්වන හඬත් එක්ක මන් දැක්කේ සීනු ආපු සැනින්ම ආපහු හරවන් යනවා..
"සීනු....!!! කොහෙද යන්නේ...??"
"එයාට යන්න දෙන්න චූටි.. නවත්තලා තේරුමක් නෑ.. එන්න අපිත් ගෙදර යන්.."
"පොඩී මන් කොන්ඩේ කපලා වැරද්දක්ද කලේ??"
"නෑ චූටි නෑ.. ඒක ඔයාගේ කොන්ඩේනේ.. ඔයාට අයිතියක් තියෙනවා ඕනම දෙයක් කරන්න.. ඒත් ඔයාගේ කොන්ඩේට තාත්තාට පස්සේ වැඩියෙන්ම ආස එකීනේ.. ඔයාව තනියෙන් සැලොන් එකේ දාලා ආවා කියලා මට ගිය වෙලේ ඉඳන් කනක් ඇහෙන්න නෑ එකීගෙන්.. කඩාගෙන ආවේ මටත් කලින්.. දැන් ඕක ගැන හිතන්න එපා.. මට ඔයා කොහොම හිටියත් මගේ චූටිම තමා..."
හැමදාම වගේ පොඩීගේ ඒ වචන මට හයියක්.. මාව විහිළුවකට නොගෙන පොඩී මෙහෙම කතා කලේ සීනුගේ කේන්තිය නිසා මං දුකින් කියලා දැනිලා වගේ.. ඇත්තටම මන් දුකෙන්ද...
"පොඩී ඔයාට බැරිද සීනු පරිස්සමට ගෙදර ගියාද කියලා බලන්න.. මන් කතා කලත් කතා කරන එකක් නෑ.."
"හරි මං බලන්නම්.. එයාගේ කේන්තිය නිවෙනකන් එයාට ඉන්න දෙන්න චූටි.. එයාම එයි හොයාගෙන.. සමහර වෙලාවට කාලය උත්තර නැති ප්රශ්නවලට උත්තර දෙනවා..."
_______________________________________________________
පහුවදා උදේම පොඩී මාව සැසිප් එක ගාවින් බැස්සුවේ කලින් දවසක ක්ලාස් එකෙදී වුන දේවල් මතක් වෙන වෙලාවක.. මගේ අතට හිර වුනේ බස් එකේදී නාදිව් මට දීපු කවි පොත.. කාලයක් තිස්සේ පෙරුම් පුරපු පොතක් අතට හම්බෙලාත් එක පිටුවක් වත් දිග ඇරලා බලන්න තරම් හිතට සැන්සීමක් දැනුන් නෑ.. කවියක් විඳින්න බැරි තරම්ම ඒ හිත හිස්.
"අම්මොහ් උඹ එනකන් බලාගෙන හිටියේ.. කෝ.. උඹ අද ගෞෂි අක්කා එක්ක නෙමෙයිද ආවේ...??"
"නෑ මහී.. අපේ පොඩී අයියා කිව්වා එයා කැම්පස් එකේ වැඩකට යනවා කියලා.. එන එකක් නෑ එයා අද කොහොමත්.."
"අම්මොහ් ලොකු දෙයක්.. එහෙනම් අද අයියා කෙනෙක් හරි එයිනේ අපිට පෙපර් එක කරන්න..
ඒ මේ අර නාදිව් දුන්න පොත නේද.. උඹ කියොලා ඉවරද.. ඕක ආපහු දෙන්නද යන්නෙ.."
"හ්ම්ම්.. ඔව් මේක එයාට දෙන්න ඕනේ.. පන්ති පටන් ගන්න කලින්ම මේක එයාට දෙමු.. එයා ඇවිත් හිටියොත් හොඳයි.."
"ආහ් ඌ කොහොමත් උදේම එන එකෙක්.. සුවර් එකටම ඇවිත් කට්ටිය අල්ලන් ගාණක් හදනවා ඇති.. උන් මිනිස්සු වෙන්න බෑ..."
"අනෙහ් මහීයෝ.. උඹත් නොදන්න මඟුලක් නෑනේ බලන් ගියාම.. ඕන එකක් යමන් මේක දෙන්න.."
මහී එක්ක මන් පඩිපෙළ නැඟලා පන්තියට ඇවිදන් ගියේ උදේම ආපු නිසා තාම ලොකු ලමයි පිරිසක් පන්තියේ නැති වෙන එක ගැන සතුටු වෙන ගමන්..
මහී කිව්වා වගේම නාදිව් ඔලුවත් නවාගෙන පොතකට මූණ ඔබන් හිටියේ, හැබයි තනියම...
"යමන් අර ඉන්නේ උඹ හෙව්ව කෙනා.. හැබයි බඹා කෙටුව එකානම් මූද දන්නේ නෑ.."
"අනෙහ් නවත්තගනින් බන් උඹේ හාලි කට.. කිව්වොත් මඟුලක් ගැන තමා.."
මහීට බනින ගමන්ම අපි නාදිව් ගාවට ඇවිදන් ගියේ අපේ සද්දෙටවත් එයාගේ අවදානයක් නොලැබෙද්දි.. මන් හෙමින් එයාගේ ලියන ලී බංකුවට දබරඟිල්ලෙන් තට්ටුවක් දැම්මේ එයාට කට ඇරලා කතා කරන්න ඕන විදියක් හිතාගන්න බැරි වෙද්දි.. ඒ සද්දේට එයා ඔලුව උස්සද්දි ඒ ඇස් පුදුමයකින් පිරිලා තිබ්බා..
"යුහස්වී..! වාව්ව්.. මන් කිව්වේ ගුඩ් මෝනින්.. ඔයා වෙනස් වෙලා.. හොඳ වෙනසක්.. ඔයාට ගැලපෙනවා.."
නාදිව්ගේ වචන එක්ක ඊලඟට පුදුම වෙන අවස්තාව ආවේ මට.. මහීටවත් නොදැනුන ඒ වෙනස නාදිව්ගේ ඇස් වලින් වසන් කරන්න නම් බැරි වුනා... මන් කොන්ඩේ කපපු එක ගැන මුල්ම හොඳ විදියට ප්රතිචාර දැක්වුයේ නාදිව් වෙන්න ඇති..
"තෑන්ක්යු.. මේ පොත ඔයාට දෙන්නයි ඕන වුනේ.. මේ පොතටත් ඇත්තටම ස්තුතියි.."
"ඔහ් ඔයා එච්චර ඉක්මනට බැලුවද.. ඔයාගේ ස්තුතිය වෙනුවට කරදරයක් නැත්තන් මට පුලුවන්ද ඔයා එක්ක විනාඩි කිහිපයක් තනියම කතා කරන්න.. මන් වැඩි වෙලාවක් ගන්නේ නෑ.."
"යුවී.. උඹ කතා කරලා වරෙන්.. මන් බෑග්ස් ටික තියලා එන්නම්.."
මන් මොනවත් කියන්නත් කලින්ම මගේ බෑග් එකත් අරන් මහී අපේ සුපුරුදු වාඩි වෙන තැනට ගියේ මාව නාදිව් එක්ක තනි කරලා.. යකෝ මන් හා කිව්වෙත් නෑ.. මේකිව මරලත් මදි.. පගාවක් අරන්ද මන්දා මූගෙන්..
"යුවී.. අපි පන්තියෙන් එලියට ගිහින් කතා කරමුද නැත්තන් මේකේ ඉන්න අයට ඕකත් මාතෘකාවක් වෙයි.."
නාදිව් කිව්ව දේ ඇත්තක් තිබුන නිසාම ඔලුව වනලා එකඟතාව පල කලේ එයාගේ පිටිපස්සෙන් පන්තියෙන් එලියට කොරිඩෝව දිහාට ඇවිදන් යද්දි..
"යුවී.. මන් එහෙම කතා කලාට කමක් නෑ නේද.. මන් දන්නවා මාව ඔයාට තාම ආගන්තුකයෙක්.. ඔයා මාව ඔයාගේ යාලුවෙක් විදියටවත් සලකන් අරන් නෑ.. හැබයි මන් ඔයාව දන්නේ ඔයා විභාගේ කරන්න තියරි කිලාස් ආපු කාලෙ ඉඳන්මයි.. මට දේවල් වටෙන් කියලා පුරුද්දක් නෑ යුවී.. කෙලින්ම ඒ දේ අදාළ කෙනාටම කියන්නයි මං කැමති.. මන් දැනටත් කාලය නාස්ති කරලා ගොඩක්.. කාලය අපි වෙනුවෙන් නවතින් නෑ යුවී.. ඒ නිසා මන් මේක ඔයාට අද කියන්නම්.."
නාදිව් මේ කියන්න යන කතාව මොකක් වුනත් මට දැනුනේ මන් මෙතනින් ඒක අහන් නැතුව පැනලා යන්න.. ඒත් මං හැමදාම කළේ පැනලා යන එක.. අද මගේ ඉස්සරහ හිටන් ඉන්න මේ කොල්ලට තියෙන හිතේ හයිය මටත් තිබුනානම්. ඒ නිසාම මං තීරණය කලා නාදිව්ට ඇහුම්කන් දෙන්න..
"මන් අහන් ඉන්නෙ.. ඔයා කියන්න.."
"තැන්ක්යු යුවී මට ඇහුම්කන් දෙනවට.. කෙලින්ම කියනවානම් මං ඔයාට කැමති.. කවදා කොහොම ඒ කැමත්ත ඇති වුනාද මං දන්නෙ නෑ.. මං ඔයාට ගොඩක් කැමති.. මේකට මන් ඔයාගෙන් කිසිම උත්තරයක් දැන්ම බලාපොරොත්තු වෙන්නෙ නෑ.. කැමති කාලයක් ගන්න.. මාව අඳුරගන්න.. ඔයාට නොකියා දවසක පසුතැවෙන්න කලින් කියන්නයි ඕන වුනේ..."
ඉතිං මං මුල්ම පාරට කෙනෙක්ගෙන් ඒ වචන ඇහුවා.. ඒත් මං අහන්න බලාපොරොත්තු වුන කෙනෙක්ගෙන් නෙමෙයි.. ඒ මැජික් වචන ඇහුවා කියලා මගේ ඔලුවේ අර වයලින් ගහන සද්දයක්වත්.. බඩ ඇතුලේ සමනල්ලු දඟලන හැඟිමවත් මට දැනුන් නෑ... එතකොට කතාවල ෆිල්ම් වල කියන්නේ බොරුවක්ද...
"ඔයාව අපහසුතාවේට පත් කලේ නෑ කියලා මන් හිතනවා මන් කිව්ව දේවල් එක්ක.. ඔයාගෙන් ලැබෙන ඕනම උත්තරයක් මන් සතුටින් බාරගන්නවා.. මන් ඔයාට මගෙත් එක්ක යාලු වුනාම මේ දේවල් කරනවා කියලා පොරොන්දු දෙන්න කැමති නෑ.. මොකද ඒවා වචන.. මන් ඒවා කරලම පෙන්නන්නම්.."
මට වචනයක් කියන්නවත් ඉතුරු නොකර එයාම කතා කලේ මට පොඩී කිව්ව මගෙ ඇස් ඉස්සරහම තියෙන අලුත් හීනේ ගැන ඉඟියක් හිතට එද්දි.. කෙනෙක් දෙයක් වචන කරන පමණින්ම, ඒකට පිලිතුරු වචනයක් දෙන සැනින්ම බැඳීමක් ඇති වෙනවද..
"මන් හිතන්නේ මගේ උත්තරේ ඔයා දැනටත් දන්නවා.."
-------------------------------------------
ක්ලාස් ඇරිලා ආපු ගමන්ම නොකා මන් ඇඳට වැටුනේ දවල් ඉඳන් තිබුන ඔලුව කැක්කුමක් ආපහු හිස ඔසවද්දි.. කෝ මං හෙව්ව අර අලුත් හැඟීම.. ඒ ඔක්කොම තනිකරම මගේ හිතේ මනස්ගාත විතරද...
"ඔව් බන් චූටි ටිකකට කලින් ආවා.. හ්ම්ම් බස් එකේ.. නෑ නෑ නිදි වගේ බන්.. කෑවෙත් නෑ.. අනෙහ් උබ නටහන් සීනු.. අම්මාත් නෑ.. මන් නැගිට්ටම බලන්නම්.. ආහ්, උබට මාව සුවර් නැත්තන් ඇවිත් බලාගනින් උබේ කුමාරිහාමිව, නිකන් පුස් පාට් නොදා ඉඳපන් පොඩි එකීට බන්.."
දොර ගාවින් ඇහුන පොඩීගේ හඬ මට ඇහුනේ නින්දක් නොනින්දත් මගේ හිත සැරිසරද්දි.. පොඩී ඒ කතා කලේ කාටද.. මට නින්දක් ඕනේ.. හීන නොපෙනෙන නින්දක් ඕනේ..
"චූටි.. චූටී.. නැගිටින්නකෝ නංගීයෝ.. ඔයාගේ ඇඟත් එක්ක රස්නෙයි.. බලන්න මේ කව්ද ඇවිත් ඉන්නේ කියලා.."
"යුහස්වී.. නැගිටින්න.."
ඒ හඬට මගේ ඇස් ඇරෙන්නත් කලින්ම මුළු ඇඟම ප්රතිචාර දැක්වුයේ හරියට මුළු ඇඟේම පාලනේ අයිති ඒ කඩහඬේ අයිතිකාරිට වගේ.. හෙමින් ඇස් පියන් අරිද්දි මන් දැක්කේ ඩෙනිම් ජැකට් එකකුත් ඇදන් අත් දෙක බැඳන් ඉන්න හීනෙනුත් මාව හොයන් එන කෙනෙක්..
"යකෝ.. මන් කතා කරද්දි මැරිලා වගේ හිටිය එකීද මේ නැගිට්ටේ.. උබට සීනු බය වෙන්න දෙයක් නෑ.. දෙයියනේ කියලා සෝම්බියෙක් වුනත් ඔය කටහඬට වශී කරගන්න පුලුවන්..."
"පිස්සු කියවන් නැතුව පල මෙතනින් පිං බතා.. උඹටත් මන් සුප් එකක් ගෙනාවා බීපන් ගිහින්.. නංගීව බාරදීලා ගිහින් තියෙන්නේ මරු එකෙක්ට.."
"අනේ සුදු අම්මියෝ.. උඹව මගේ සීනී අම්මණ්ඩි කරගන්න තිබ්බානම්.. මගේ දේවතාවී.. කොහෙද මට එකගෙයි කන එක සෙට් නෑනේ.."
"පලයන් බූරුවෝ හොදින් කියන වෙලේ මගෙන් හුප්පද අහගන් නැතුව.."
"හරි හරි මං යනවා.. චූටි හිතුවක්කාර නොවී හොඳ ලමයා වගේ කාලා ඉන්න.. අම්මා ආවම නැත්තන් මාව කයි..."
නින්දෙන් ඇහරුන මට චූටිගෙයි සීනුගෙයි මේ කතා ඔලුවට ගියේම නැති තරම්.. පොඩී දොරත් වහන් යද්දි මට දැනුනේ මාව අයිස් පෙට්ටියක් ඇතුලේ තනිකරලා ගියා වගේ.. ඇඟ විනි විදගෙන යන තරමේ කටුක සීතලකින් මාව වෙව්ලලා ගියා..
"හ්ම්ම්.. උඹ නරක ලමයෙක් වුනාද.. කෝ මගේ good girl.."
බිමට හරවන් හිටිය ඔලුව උස්සලා මන් කෙලින්ම බැලුවේ එයාගේ ඇස් දිහා.. ඒත් අද මට ඒ ඇස් කියවන්න බෑ.. මරියානා ආගාධය වුනත් හැමදේම ගිලගන්න කලින් මේ වගේම නිශ්චල ද..
"මේක මුලින්ම බීලා ඉන්න.. ඊටපස්සේ කතා කරමු.."
"මට පිරියක් නෑ සීනු.. මං පස්සේ කන්නම්.."
"හ්ම්ම් උඹේ උත්තරේ මං දන්නවා.. ඒකටත් මන් දේවල් අරන් ආවා.. උබේ ආසම දිවුල් අච්චාරු.. දැන් හරිනේ.. මුලින් සුප් එක බොන්න.."
සුප් කප් එක ඇරලා හැන්ඳත් එක්කම මගේ ලගට දික් කලේ, මාව මේ දන්න ඒත් නොදන්න සීනු ඉස්සරහ නිහඬ කරවලා.. ඇයි හැමදාම මාව මෙහෙම පැටලෙන්නේ..
"සීනු මට.. "
"මං දෙපාරක් කියන්න කැමති නෑ යුහස්වී.. මේ සෙල්ලම් දාපන් උබේ අයියා එක්ක.. හොදින් දෙයක් කියද්දි උඹට අහන පුරුද්දක් නෑනේ.."
මන් එයාගේ අතින් කප් එක මගේ අතට ගත්තේ තව එයාව කේන්ති කරන් අපි දෙන්නා කරනවා කියන ඒ කතාව කරන් යන්න වෙන්නෙ නෑ කියලා දන්න නිසාම..
"අතගගා ඉන්නේ නැතුව ඕක බීපන්කෝ නිවෙන්න කලින්.. කෝ මෙහාට දෙන්න.."
මං හිතන්නත් කලින්ම මගේ අතින් හැන්ද උදුරගත්ත සීනු කප් එකෙන් පුරවලා සුප් හැන්දක් අරන් මුවට ළං කලේ මගේ යටගහන් හිටිය බලෙන් වළලපු හැම හැඟිමක්ම වාන් දාද්දි.. ඔයාට හිතෙන වෙලාවට එන්න හිතෙන වෙලාවට යන්න, ඔයාගේ වෙනස්වෙන හැම හැඟිමක් ඉස්සරහම නොසෙල්වී ඉන්න.. මට මහන්සී සීනු...
වෙරළ කොච්චර මහ සයුරට ආදරේ කළත්, හැම රැල්ලක්ම දරාගෙන හිටියත්.. වෙරළ දැනන් හිටියෙ නෑ එයාව ටික ටික මහ මුහුදටම සේදිලා යනවා කියලා.. අඩුම මහ මුහුද දැනන් හිටියෙත් නෑ...
"ඇයි මට මෙහෙම කරන්නේ සීනු...! ඇයි??"
ඇගේ මුලු හයියම හිතට අරන් මන් ඒවා වචන වලට හැරෙව්වේ තවත් වෙරළ හේදීගෙන යනවා බලන් ඉන්න බැරි නිසාම..
"මන් මොකක්ද කලේ.. මන් මේ සුප් එක පොවන්න හදන්නේ උබට.."
"සීනු.. please can we talk..?"
"හ්ම්ම් මං හිතන්නේ උඹේ කටට හොඳට පණ තියෙනවා.. මේක බොන්න ඕනේ නෑ වගේ.. කෙලින් අහන දේ අහපන්.. මට උඹේ වටේ යන කතා තේරෙන් නෑ.."
"සීනු.. ඇයි මට ඔච්චරම නපුරු විදියට සලකන්නේ.. මං බලාගෙන ඉන්නවා කියලා දැන දැනම ඇයි මට කතා නොකර හිටියේ.. අපි අඩුම යාලුවෝ නේද.. ඔයා ඔයාගේ යාලුවන්ට සලකන්නේ මෙහෙමද..?!"
"ඔහ්හ් ගොඩක් ප්රශ්න තිබිලනේ මේ චුටි කුරුලු මොලේ අස්සේ.. ඉතින් මං යාලුවන්ට සලකන විදියට උබට සලකන්නද ඕනේ.. එහෙම සලකලා බලන්නද..?"
"මට මනුස්සයෙක්ට වගේ සලකන්න සීනු, ඔයා වෙනුවෙන්.. ඔයාගේ එක වචනයක් අහන්න බලන්න ඉන්න මට මෙහෙම කරන්න එපා.. මට තවත් මේ දේවල් දරාගන්න බෑ.. මට මහන්සි සීනු..."
ඇස් දෙකෙන් ගලන හැම කඳුලක්ම මන් සැනින් අත් දෙකෙන්ම පිහදාලා යැව්වෙ ඒ කඳුලු මගේ දුර්වලකම වගේම සීනුට කේන්ති යන්න තවත් හේතුවක් නිසා...
"තව කියන්න තියෙනවද යුහස්වී.. කෝ උබේ පැමිණිළි ඔච්චරද..?"
"ඔයාට මාව විහිලුවක් ද සීනු.. මගේ හැඟිම් ඒවා ඔයාට විහිළුවක්ද.. අඩුම මන් කියන දෙයක්වත් ඔයාගේ ඔලුවට යනවද.."
"අහ්හ් මන් ඉතින් මනුස්සයෙක් නෙමෙයිනේ.. උබේ වේදනාව.. උබේ හැඟිම්.. උඹේ දුක.. ඒවා කොහොමද මන් වගේ අමනුස්සයෙක්ට තේරෙන්නේ නේද.. ඔක්කොම තෙරෙන්නෙ උඹට විතරනේ..නේද පුංචි නෝනා..."
"සීනු මන් එහෙම දෙයක් නෙමෙයි කිව්වේ.. ඇයි ඔයාට එක තප්පරේකට පෙන්නේ නැත්තේ මං දුකින් කියලා..."
"කෑගහලා අඬන්න පුලුවන් වුන පලියට.. හිතේ වේදනාව වචන කරන්න පුලුවන් වුන පලියට උඹ මෙතන විත්තිකාරයා වුනාද යුහස්වී..?? උඹ මට රිද්දන තරම උබ අඩුම දන්නවද... මාත් කෑගහලා ඇඩුවානම් විතරද උබට ඒක පෙන්නේ.."
"මං.. මං කවද්ද ඔයාට රිද්දුවේ සීනු..."
සීනුගේ මේ වචන එක්ක මට ගලන් යන කඳුළු පිහදාන්නත් අමතක වුනා.. මං ඇත්තටම එයාට රිද්දුවද.. මගේ සීනුට, මන් කවද්ද එහෙම කලේ.. අඩුම එයාට මං නිසා රිදෙනවා කියලා මං දැනගත්තෙත් අදයි.
"උබ රිද්දුවේ නැත්තේ කවද්ද අහපන්.. මන් ආස කරපු කොන්ඩේ උබ කිසිම හිතක් පපුවක් නැතුව කපලා දැම්මා.. මගෙන් පළිගන්නද උබට ඕන වුනේ.. දැන් උබට සතුටුද.."
"මට ඕන වුනේ මන් දකින හීන වලින් ඇහරෙන්න විතරයි සීනු.. ඒ හීන මාව බය කරනවා.."
"ඉතිං උඹ හීනෙන් ඇහරුනාද..? හීන බලන එක අත ඇරියද.. දැන් උබට බයක් දැනෙන් නැද්ද..?!"
සීනු එයාගේ එක අතකින් මගේ කොන්ඩ කැරලි හිර කරගත්තේ ඒ වේගේට මාව එයාගේ පැත්තට ඇඳිලා යද්දි..
"හොඳට අහගනින් යුහස්වී.. අද ඉඳන් උඹ හැම රෑකම නින්දට කලින් වැඳ වැටෙයි ආපහු ඒ හීන පෙන්න කියලා.. ඒත් උබ පරක්කු වැඩි වෙයි.."
"හරි උබට නිදහසනේ ඕනෙ කිව්වේ.. හ්ම්ම් හරි මන් උබව නිදහස් කරන්නම්.."
ඒ වචන වලින් මගේ හිත කෑලි කරන ගමන්ම මගේ කොන්ඩෙත් අත ඇරපු සීනු අඩියක් පස්සට ගත්තේ අපි අතරේ පරතරේ අඩියට වඩා දහස් ගුනේකින් වැඩි කරද්දි..
"සීනු.. ඔයා මොනාද මේ කියන්නෙ.. මන් එහෙම දෙයක් අදහස් කලේ නෑ.."
"මාත් එක්ක ඉන්නවානම් මට ඕන විදියට ඉඳපන් . මන් උබට සලකන විදිය හොඳ මදිනම් මේක තමයි වෙලාව උබට හැරෙන්න.. මන් උබව අල්ලන් ඉන්නෙ නෑ.."
මිනිස්සුන්ට තෝරගැනීම් කියන දේ ලැබෙන්නේ ජිවිතේ එක අවස්තාවක් විතරක් වෙන්න පුලුවන්.. හැබයි ඒ ගන්න තීරණෙන් මොන වගේ අවසානයක් ලැබුනත් ඒ වගකීම අපිටමයි...
"මට ආදරේ විඳින්න ඕනේ සීනු.. මට ආදරේ මොන වගේද කියලා දැනගන්න ඕනේ.. මේ ලොකේ මන් වෙනුවෙන් කෙනෙක් ඉන්නවා කියන හැඟිම දැනගන්න ඕනේ.."
ඉකියක් අතරින් මන් ඒ වචන පිට කලේ සීනු ඉස්සරහ බැගෑපත් වෙන ගමන්..
"මොකක්!! ආදරේ.. ආදරයක් කොහොමද අපේ කතාව මැද්දට ආවේ යුහස්වී .."
"අද මට නාදිව් එයාගේ හිතේ තියෙන දේවල් කිව්වා.. එයාගේ කැමත්ත මට කිව්වා සීනු..."
"වොහ්.. එත්කොට මේ ඔක්කොම නාඩගම් උඹට ඌ ගාවට යන්න ඕන නිසාද.. උඹත් කැමතිද.. නැත්තන් කැමති කියලා ඉවරද.. මන් නැති එක දවසට උඹ මෙච්චර දෙයක් කලාද යුහස්වී.."
මන් කියන කිසිම දෙයක් සීනුගේ ඔලුවට යන්නේ නෑ කියලා දැන දැනම ඇයි මන් තවත් මේ කතාව කරන්නේ කියලා මටම හිතාගන්න බෑ..
"ඔයා අඩුම මන් කියන දේවත් අහන්ද ඉන්නෙ සීනු.. ඔයාට ඇහෙන්නේ ඔයාට අහන්න ඕන දේවල් විතරමද.?"
"ඔව්.. උබට බෑ මාව වෙනස් කරන්න.. උඹ දන්නේ වචන වලින් මට රිද්දන්න විතරයි.. මගේ කේන්තිය විතරයි මං දන්න එකම හැඟිම කියලා උබ දැන දැනත් උබ මාව අමනුස්සයෙක් කරනවා.. උබම මෙහෙම නම් පිට මිනිස්සු ගැන තව මොන කතාද..."
"සීනු.. මැණික මන් කියන දේ අහන්නකෝ.."
මගේ ඇස් ඉස්සරහම ඔයාව ඔහොම බිඳිලා යනවා බලන්න මට බෑ සීනු.. මට ඕන වුනේ එයාට ලං වෙන්න එයාව සන්සුන් කරන්න..
"අල්ලන්න එපා මාව.. උඹ ඒ අවස්තාව නැති කරන් ඉවරයි වෙන එකෙක්ගේ හුස්මක් හරි උබට වැටුන වෙලේ.."
"උඹට ඇති තරම් කාලේ ගනින් යුහස්වී, පුළුවන්නම් මට මගේ යුහස්වීව දීපන්.. බලමු කව්ද දිනන්නේ කියලා.. කවුරුවත් වෙනුවෙන් නවතින් නැති කාලෙද නැත්තන් උබයි මමයිද කියලා.."
කාලය එක්කම මාව එක තැන නවත්තලා සීනු කාමරෙන් එලියට ගියේ හයියෙන් දොරත් වහගෙන.. මන් හැමදාම ඔයාට එන්න එක දොරක් හරි ඇරලා තියද්දි ඇයි ඔයා දොරවල් එකින් එක වහන්නේ සීනු..
හෙමින් දොර ගාවට ඇවිදන් ගිහින් මන් බලාගෙන හිටියේ එයා වහපු දොර ඇරන් ආපහු එයි කියලා.. කාලය.. අපිට ඒ තරම් කාලයක් තියෙනවද සීනු බලාගෙන ඉන්න...
ඇස් පියන් නිදහසේ ගලන කදුලු වලට මං ඉඩ දුන්නේ ඒවා නවත්තන්න තරම් හේතුවක් නැති නිසා.. හීනෙන් වගේ ඇහුන දොරක් ඇරෙන සද්දයක් එක්ක මට දැනුනේ සීතලම සීතල පහසක් මගේ දෙතොල් අග්ගිස්සට..
මන් හිතන්නේ මං මේ හීනයක් දකිනවා...
"උඹ අර කවිය ලිව්වේත් මට නෙමෙයි නම්, උබට මාව හොඳ යාලුවෙක් විතරක් නම් මේ හාදුවත් තව එක හාදුවක් කියලා අමතක කරපන්.."
ඇස් ඇරලා බලන්න ඕන වුනත් තවත් ඇස් තද කරලා මන් පියාගත්තේ මේක හීනයක් නම් ඇහරෙන්න මට ඕනකමක් නැති වෙද්දි.. මගේ දෙතොල් අග මුමුණන ඒ තොල්පෙති ආපහු මගේ තොල් මතට වැටුනේ දෙතොල් අඟින් පටන් ගත්ත සීතල හිරියක් මුළු ඇඟ පුරාම දුවද්දි..
ආපහු දොර ඇරෙන වැහෙන සද්දෙට මන් ඇස් අරිද්දි මගෙ ඉස්සරහ තිබුනේ හිස් අවකාශේ විතරමයි..
ඉතින් අපි ඉස්සරහට ගියාද, නැත්තන් කාලය එක තැන නැවතුනාද...!!!
.
.
.
අද නුඹ ටිකක් මට නුහුරුයි වුනත්
ආගිය තැන් රැදිලා...
මැකුනාද ඒ ආලේ සොඳුරේ..
හිනැහෙන්න පුලුවන්ද ආයේ...
දුර යන්න ඇයි හේතු හිතුනේ
ළග ඉන්න එනවාද මාගේ..
--------------------------------------